ඉන්දියාවේ චන්ද්‍රයාන් ටූ අභ්‍යවකාශ මෙහෙයුම කල්දැමේ

තාක්ෂණික දෝෂයක් හමුවේ ඉන්දියාවේ චන්ද්‍රයාන් - 2 භ්‍යවකාශ මෙහෙයුම කල්දැමේ

by Staff writer 15-07-2019 | 7:00 AM
COLOMBO (News 1st) : තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද අලුයම චන්ද්‍රයා බලා අභ්‍යවකාශගත වීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් - 2 මෙහෙයුම කල්දැමීමට සිදුවු බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය. චන්ද්‍රයාන් - 2 යානය රැගත් ජී එස් එල් වී මාර්ක් ත්‍රී නැමති රොකට්ටුව , අද ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ , ශ්‍රිහාරිකොත දූපතේ පිහිටි සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබුණේ අලුයම 2. 51 ටයි . මෙම මෙහෙයුම ඇරඹී දින 54 කට පසු චන්ද්‍රයා මතුපිට ප්‍රග්යාන් නැමති කුඩා රොබෝ රෝවර් යානයක් ගොඩබැස්වීමට නියමිතව තිබිණ. මෙහි ප්‍රධාන අරමුණ වූයේ දින 14 ක කාලය තුල චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ජල සම්පත් පවතීදැයි ගවේෂණය කිරීමයි . කෙසේ වෙතත් රොකට්ටුව අභ්‍යවකාශගත වීමට විනාඩි 56 ක් තිබියදී උද්ගත වූ තාක්ෂණික දෝෂයක් හමුවේ මෙහෙයුම කල් දැමීමට සිදුවු බවත් චන්ද්‍රයාන් ටූ කක්ෂගත කෙරෙන නව දිනය පසුව ප්‍රකාශයට පත්කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය. මෙම මෙහෙයුම දැකබලා ගැනීමේ අරමුණින් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද එම ස්ථානයට පැමිණ සිටියේ ය. ඉන්දියාවේ මෙම මෙහෙයුම සාර්ථක වූවානම් සඳ මත අභ්‍යකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ ලොව හතරවැනි රට බවට පත්වීමට ඉඩ තිබිණ. මීට පෙර අමෙරිකාව  ,රුසියාව සහ චීනය මෙම මෙහෙයුම සාර්ථකව නිමාකල නමුත් මේ වසර මුලදී ඊශ්‍රායාලය ඊට දැරූ ප්‍රයත්නය අසාර්ථක විය. ඊශ්‍රායාල මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේ අභ්‍යවකාශගත කිරීමට නියමිත වූ චන්ද්‍රයාන් - 2 මෙහෙයුම ජූලි දක්වා කල්දැමීමට ඉන්දියාව පිවර ගත්තේ ය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රුපියල් කෝටි 1000 ක් වැයකර  ,වසර ගණනක උත්සාහයක ප්‍රතිඵල මධ්‍යයේ ක්‍රියාත්මක කෙරෙන මෙම මෙහෙයුම අසාර්ථක වනු දැකීමට අකමැති බැවින් ඉන්දියාව මෙලෙස තාක්ෂණික දෝශ හමුවේ මෙහෙයුම කල් දැමීමට පියවර ගත් බවයි . චන්ද්‍රයාන් - 2 මෙහෙයුමට යොදාගත් සියලු උපකරණ සැලසුම් කර නිශ්පාදනය කර තිබුණේ ඉන්දියාව තුළ බව මාධ්‍ය වාර්තා පවසයි. මෙය චන්ද්‍රයා මත ජලය තිබේදැයි තහවුරු කරගැනීමට ඉන්දියාව 2009 වසරේදී සාර්ථකව ක්‍රියාත්මක කළ චන්ද්‍රයාන් වන් මෙහෙයුමේ දෙවන කොටසයි . චන්ද්‍රයාන් - 2 මෙහෙයුමට ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් 1000 කට ආසන්න පිරිසක් දායකත්වය ලබාදී තිබූ නමුත් මුල්වරට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය මෙම අන්තර් ග්‍රහලෝක විමර්ෂණයේ මූලිකත්වය කාන්තාවන්ට පවරා තිබිණ. මෙම මෙහෙයුමේ ප්‍රධානත්වය දැරුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා මුතයා වනිතා සහ රිතූ කරිදාල් යන කාන්තාවන් දෙදෙනායි . කාන්තාවන් සහ පුරුෂයන් යන දෙපාර්ශවයම සමාන බවත් , ලිංගිකත්වය නොව දක්ෂතාවය පමණක් වැදගත් බවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී ආචාර්ය කේ සිවාන් ප්‍රකාශ කළේ ය.