එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී...

එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී...

by Staff writer 15-07-2019 | 6:17 AM
COLOMBO (News 1st) : ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගත්තේ ය. ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගිනි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241 කි. මාටින් ගප්ටිල් ලකුණු 19 ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 30 ක් රැස් කළහ. කේන් විලියම්සන් වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගාවලියකදී නායකයෙකු වශයෙන් වැඩිම ලකුණූ සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. ඔහු මෙම තරගාවලියේදී ලකුණූ 578 ක් රැස් කළ අතර 2007 වසරේදී මහේල ජයවර්ධන ලකුණු 548 ක් රැස් කරමින් තිබූ වාර්තාව බිඳ දැමූහ. සිය එක්දින දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කළ හෙන්රි නිකොල්ස් ලකුණූ 55 ක් රැස් කළ අතර ටොම් ලැතම් ලකුණූ 47 ක් රැස් කළහ. ජේම්ස් නීශම් ලකුණු 19 ක් රැස් කළ අතර කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 16 යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහා ලියම් ප්ලන්කට් කඩුළු 3 බැගින් දවා ගත්තේ ය. අනතුරුව සිය කුළුදුල් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලකුණු 242 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කන්ඩායමේ මුල් කඩුලු 4 ලකුණූ 86 ක් තුළදී බිඳ වැටිණ. ජේසන් රෝයි ලකුණූ 17 ක් රැස් කළ අතර ජොනි බෙයාස්ටෝ ලකුණූ 36 ක් රැස් කළහ. කෙසේ වෙතත් අනතුරුව පිටියේ ස්ථාවර වූ බෙන් ස්ටොක්ස් සහා ජොස් බට්ලර් එංගලන්ත ඉණිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 110 කි. ජෝස් බට්ලර් පන්දු 60කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් රැස් කළේ ය. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දු 12 දී ලකුණු 24ක ඉලක්කයක් පැවැති මොහොතක පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ ජේම්ස් නීෂම් ලියම් පල්න්කට් සහ ජොෆ්රා ආචර් දවා ගත්තේ තරගයේ වැඩි වාසි නවසීලන්තයට හිමිකර දෙමිනි. ඒ අනුව අවසන් පන්දුවාරයේදී එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 15කි. කඩුලු 2 ක් පමණක් අතැතිව සිය ඉණිම දියත් කළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ට්‍රේන්ට් බෝල්ට් අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළේ ය. ඔහු අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙක නිලකුණු පන්දු දෙකක් ලෙස ක්‍රියාත්මක කිරීමට සමත්වූව ද තුන්වැනි පන්දුවේ දී බෙන් ස්ටොක්ස් හයේ පහරක් එල්ල කරමින් නැවතත් තරගය එංලන්තය දෙසට නතු කර ගත්තේ ය. අවසන් පන්දුවාරයේ සිවු වැනි පන්දුවේ දී බෙන් ස්ටොක් එල්ල කළ පහරක් හතරේ සීමා අසල දී රැකගත් මාටින් ගප්ටිල් නැවත පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමුකළ ද එය පන්දු රකින්නන් අභිබවා හතරේ සීමාව දක්වා යෑම හේතුවෙන් එංගලන්තයට ලකුණු 6ක් හිමි විය. නමුත් අවසන් පන්දු දෙකේ දී ලකුණු 2ක් ලබා දෙමින් ආදීල් රෂීඩ් සහ මාර්ක් වූඩ් දුවද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වූයේ පන්දු වාර 50 අවසානයේ කණ්ඩායම් දෙකේ ම ලකුණු තත්ත්වයන් සම කරමිනි. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 84ක් රැස් කළේ ය. ඒ අනුව කණ්ඩායම් දෙකටම යළිත් පන්දුවාරය බැගින් ලබා දුන්නේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සුපිරි පන්දුවාරයේදී ද කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් රැස් කරමින් එය ද සම තත්ත්වයට පත් වුනේ මුළු මහත් ක්‍රීඩා ලෝලීන්ම අමන්දානන්දයට පත් කරමිනි. කෙසේ වෙතත් එවැනි අවස්ථාවක ක්‍රිකට් නීතියට අනුව ජය හිමි වන්නේ තරගය පුරාවටම සුපිරි පන්දුවාරය ද ඇතුළත්ව වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කණ්ඩායමටයි. මෙම තරගයේ දී එංගලන්තය හයේ සහ හතරේ පහර 26ක් එල්ල කර තිබූ අතර, නවසීලන්තය වාර්තා කර තිබුණ් හයේ සහ හතරේ පහර 17ක් පමණි. ඒ අනුව ලොවට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්තය වසර 44 ක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තරගය ඉතිහාස ගත වූයේ එක්දින තරග ඉතිහාසයේ සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙසයි. එංගන්තයේ බෙන් ස්ටොක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ නවසීලන්ත නායක කේන් විලියම්සන්ටයි.