ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් එංගලන්තය සහ නවසීලන්තය අද තරග බිමට

by Staff writer 14-07-2019 | 10:24 AM
COLOMBO (News 1st) - ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, සත්කාරක එංගලන්තය හා නවසීලන්තය අතර ය. මෙම කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගවලදී ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි. මීට පෙර එංගලන්තය හෝ නවසීලන්තය එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොතිබීම, මෙම තරගය කාගේත් අවධානයට ලක් වීමට හේතු වී තිබේ. 1979, 1987 සහ 1992 වසරවලදී එංගලන්තය එක්දින ලෝක කුසලාන අවසන් තරගය සඳහා සහභාගී වූවද, ඔවුන් එම සියලු තරග පරාජයට පත් වීම අවාසනාවන්ත සිදු වීමකි. මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ඉකුත් වසර 44ක කාලය තුළ කිසිදු අවස්ථාවක ලෝක කුසලානයක් දිනාගෙන නොමැත. වැඩිම අවස්ථා ගණනකදී අනුශූරතාවෙන් නැවතුණු ඔවුන් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 27කට පසුව ය. නවසීලන්ත කණ්ඩායම 2015 වසරේදී අවසන් වරට එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා ක්‍රීඩා කළේ ය. නවසීලන්තය සහ එංගලන්තය එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 90කදී එකිනෙකා හමුව තිබෙන අතර ඉන් තරග 43ක් ජය ගෙන ඇත්තේ නවසීලන්තයයි. තරග 41ක් එංගලන්තය ජය ගත් අතර තරග දෙකක් ලකුණු සම වීමෙන් හා තරග හතරක් විසඳුමකින් තොරව අවසන් විය. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මෙම කණ්ඩායම් ද්විත්වය අවස්ථා 8කදී තරග වැදී ඇති අතර ඉන් තරග 5ක් ජය ගෙන ඇත්තේ නවසීලන්තයයි. ඉතිරි තරග 3 ජය එංගලන්තයට හිමි විය. ලොව ප්‍රධානතම කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පසුගිය මැයි මස 30 වන දා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.