සහරාන්ගේ මිතුරා ගැන තවදුරටත් විමර්ශන

සහරාන් සමග පුහුණුව ලැබූ සැකකරු පිළිබඳ තවදුරටත් විමර්ශන

by Staff writer 13-07-2019 | 8:36 AM

COLOMBO (News 1st) - මහරගමදී අත්අඩංගුවට ගත් මොහොමඩ් සහරාන් සමග පුහුණුව ලැබූ සැකකරු රඳවා තබා විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුව අත්අඩංගුව‍ට ගනු ලැබුවේ, මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ය. මොහොමඩ් තාජූඩීන් ආශිෆ් අහමඩ් නැමති 20 හැවිරිදි එම සැකකරු විලේපාර, දිප්පිටිය, අරනායක, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය බ්ලැක්පුල් ප්‍රදේශයේදී පුහුණුවීම් ලබා ඇති අතර අවි පුහුණුව ද ලබා ඇති බවට අනාවරණවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු අදාළ ඇඟලුම්කම්හලේ සේවයට පැමිණ ඇත්තේ, මීට දින 4 කට පෙරයි. නාවික හමුදා බුද්ධි අංශය සමග පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මහරගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකින් ඊයේ උදෑසන අදාළ සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ ය.