වියළි කාලගුණයෙන් ලක්ෂ 5 කට අධික පීරිසකට පීඩා

වසර 29 කට පසු විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වාර්තාගත ලෙස පහළට

by Staff writer 13-07-2019 | 8:43 AM
COLOMBO (News 1st) - වසර 29 කට පසු විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලින් අඩුම ජල ධාරිතාව වාර්තාවී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, විදුලි බල මණ්ඩලයට අයත් ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 21.5% දක්වා පහළ ගොස් ඇති බවයි. දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 12% - 15% ත් අතර ප්‍රමාණයක් ජලවිදුලි බලාගාරවලින් නිෂ්පාදනය කෙරෙන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත් ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, ලැබෙන සුළු වර්ෂාපතනය වියළි කාලගුණය පවතින ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් නොවන බවයි.