මිලියන 800ක් වටිනා හෙරොයින් ගාලු මුහුදෙන් හමුවේ

රුපියල් මිලියන 800ක් වටිනා හෙරොයින් ගාලු මුහුදෙන් හමුවේ

by Staff writer 13-07-2019 | 4:54 PM
COLOMBO (News 1st) - හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් 9 දෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි. පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දුන් බව ය. මෙම යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට මේ වන විට අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ, එහි තිබී සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 70ක් බව ය. ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 800කට අධික ය. පසුගිය 10 වන දා ගාල්ලට නාවික සැතපුම් 100ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාව සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත්තේ ය. මේ අතර පසුගිය මාර්තු මස 24 වන දා ද නාවික හමුදාව විසින් ඉරාන ජාතිකයින් 9 දෙනෙකු සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබී ය. හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සමග එම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා නාවික හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකිනි.