රේගුවෙන් විශේෂ විමර්ශනයක්

නිෂ්කාශනය නොකර වරාය පර්යන්තවල රඳවා ඇති බහාලුම් පිළිබඳව රේගුවෙන් විමර්ශනයක්

by Staff writer 13-07-2019 | 4:16 PM
COLOMBO (News 1st) - නිෂ්කාශනය නොකර වරාය පර්යන්තවල රඳවා ඇති බහාලුම් පිළිබඳව රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ, කසළ අඩංගු බවට සැලකෙන බහාලුම් 102ක් සී.අයි.සී.ටී. හෙවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයෙන් සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව ය. සංවර්ධිත රටවල කසළ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු පැසිෆික් කලාපයේ රටවලට එවීමේ ජාවාරම මීට වසර කිහිපයකට පෙර සිට ක්‍රියාත්මක වන්නට ඇතැයි සැක කෙරේ. රේගුව පවසන්නේ, මේ හේතුවෙන් කොළඹ වරායේ වසර ගණනාවක සිට නිෂ්කාශනය නොකර රඳවා ඇති බහාලුම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බව ය. ඒ අනුව මේ වන විට එවැනි බහාලුම් 27ක් පමණ හඳුනා ගෙන ඇතැයි රේගුව සඳහන් කළේ ය. රේගුව එම විමර්ශන ආරම්භ කළේ, භාවිත කරන ලද මෙට්ට තොගයක් ගෙන්වන මුවාවෙන් බ්‍රිතාන්‍යයේ සිට කසළ අඩංගු කන්ටේනර් තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය පිළිබඳව අනාවරණය වීමත් සමග ය. මෙම කසළ ජාවාරම සම්බන්ධයෙන් කලාපීය රටවල් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද රේගුව සඳහන් කළේ ය. දැනට කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ රඳවා ඇති කසළ අඩංගු බවට සැලකෙන කන්ටේනර් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා දිනයේ විවෘත කිරීමට රේගුව කටයුතු යොදා තිබේ. එම විමර්ශනයෙන් අනතුරුව කසළ ඇතුළත් කන්ටේනර් ඒවා එවන ලද රට වෙත යැවීමට ද පියවර ගන්නා බව රේගුව සඳහන් කළේ ය.