නිදහස් වෙළෙඳ කලාපයට අපද්‍රව්‍ය ගෙන්වූයේ කවුද?

නිදහස් වෙළෙඳ කලාපයේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය

by Staff writer 13-07-2019 | 9:46 PM
COLOMBO (News 1st) - කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුව තිබේ. නිව්ස්ෆස්ට් ඊයේ අනාවරණය කළ පරිදි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොටසක එළිමහනේ ගොඩ ගසා ඇත්තේ අපද්‍රව්‍ය තොග බවට සැක කෙරේ. මේ පිළිබඳව මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ ද විශේෂ අවධානයක් යොමුව තිබේ. බැලූ බැල්මටම කසළ තොග ලෙස පෙනී යන මෙවන් දේ රට තුළට ගෙන ඒමට බාසල් සම්මුතියට අනුව ද හැකියාවක් නොමැත. ප්‍රති සැකසීමේ අරමුණෙන් මේ ආකාරයට කසළ ශ්‍රී ලංකාවට ගෙන ආවද, එවැනි ප්‍රති සැකසුම් ක්‍රියාවලියක් සිදු කිරීමට රට තුළ ක්‍රමවේදයක් හෝ යාන්ත්‍රණයක් නැතැයි රේගුව පෙන්වා දුන්නේ ය. කුමන හෝ කාර්යයක් සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ කසළ තොගයක් පවතී නම් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය කරුණකි. නමුත් ආයෝජන මණ්ඩලයේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, තමන් දැනුවත්ව එවන් කාර්යයකට අවසර ලබා දී නොමැති බව ය. කසළ මෙරටට ආනයනය කිරීමට නීතිමය වශයෙන් ද හැකියාවක් නැතැයි එම නිලධාරියා ද තහවුරු කළේ ය. ඊට අමතරව ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති අධීක්ෂණ, විධායක අධ්‍යක්ෂ, මාධ්‍ය අධ්‍යක්ෂ හා අයෝජන කලාප භාර අධ්‍යක්ෂ යන අයගෙන් ද අප මේ පිළිබඳව විමසීම් කළ ද ඔවුහු ඊට නිසි ප්‍රතිචාර නොදැක්වූහ. මේ පිළිබඳව තවදුරටත් විමසීමට ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එය ද සාර්ථක නොවීය. බලධාරීන් සැඟවීමට උත්සහ කරන මේ තොග මොනවා ද? කටුනායක ආයෝජන කලාපය තුළට පැමිණියේ කෙලෙස ද? හිමිකාරිත්වය ඇත්තේ කාටද? මේ සියලු තොරතුරු අප සතුයි. ඒ තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය කිරීමට අප සූදානම්.