වකුගඩු රෝගියෙකු පිස්සු වැට්ටීමට දැරූ වෑයම

වකුගඩු රෝගියෙකු පිස්සු වැට්ටීමට දැරූ වෑයම

by Staff writer 12-07-2019 | 10:33 AM
COLOMBO (News 1st) - අනුරාධපුරයේ පිහිටි මෙත්සිරි සෙවණ වකුගඩු රෝග සහන සත්කාර සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් පත් කිරීමේ වගකීම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පවරා තිබේ. රුපියල් මිලියන 437ක් වැය කර වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඉදිකළ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා ඉකුත් මාර්තු 20 වන දින විවෘත කර මෙහි පාලනය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වෙත සන්නසකින් භාර දුන්නේ ය. මෙයින් දැනට සිදු වන එකම මෙහෙය වන්නේ, දුර බැහැර ප්‍රදේශවල සිට රුධිර කාන්දුකරණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණෙන වකුගඩු රෝගීන්ට රාත්‍රී නවාතැන් පහසුකම් සැලසීම පමණි. මෙය ස්ථාපනය කිරීමට පෙර අදාළ නවාතැන් සැපයීමේ කාර්යය පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කළේ රාජ්‍ය නොවන සංවිධානයක් ලබා දුන් ගොඩනැගිල්ලක් යොදා ගනිමිනි. එම කාර්යය වෙනුවෙන් පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට මාසිකව වැය වූ මුදල දළ වශයෙන් රුපියල් 81000කි. එහෙත් මෙත්සිරි සෙවණ ආශ්‍රිතව අදාළ කාර්යය සිදු කිරීමට පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාසිකව දරණ දළ වියදම රුපියල් ලක්ෂ 8 ඉක්මවයි. මෙහි රාත්‍රී නවාතැන් ගන්නා රෝගීන් වෙනුවෙන් කිසිදු වෙද හෝ හෙද සේවාවක් සැපයීමේ අවශ්‍යතාවක් නොතිබියදී පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ මධ්‍යස්ථානයට වෛද්‍යවරයෙකු හා හෙදියන් 4 දෙනෙකු අනියුක්ත කර තිබේ. මෙහි රාත්‍රී නවාතැන් ගන්නා රෝගීන් වෙනුවෙන් මේ තුළදී සිදු විය යුත්තේ සාත්තු සේවාවක් බැවින් මෙහි පාලනය පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැවරීමේ අවශ්‍යතාව විමර්ශන ඉකුත් බදාදා අවධාරණය කළේ හෙද පාලනය යටතේ තමන්ට සිදු වන කෙනහිලිකම් පිළිබඳව මෙහි නවාතැන් ගත් රෝගී ජනයා මැසිවිලි නගන පසුබිමකදී ය. විමර්ශන සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.