එංගලන්තය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

ඔස්ට්‍රේලියාව පරදවමින් එංගලන්තය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

by Staff writer 12-07-2019 | 7:19 AM
COLOMBO (News 1st) - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය දැක්වූ දක්ෂතා පිළිබඳව එම කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සතුට පළ කරයි. එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ වසර 27කට පසුව ය. බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරුවන් රැසක් මෙම තරගයේදී ලකුණු අතරට පිවිසීමට පෙර දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 14කදී බිඳ වැටුණු අතර හිටපු නායක ස්ටීවන් ස්මිත් ලකුණු 87ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. ඇලෙක්ස් කේරි ලකුණු 46ක් රැස් කළ අතර ලකුණු 20 පසු කිරීමට සමත් වූ අනෙකුත් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් වූයේ ග්ලෙන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාර්ක් පමණි. ඒ අනුව පන්දුවාර 49කදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 223කට දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. වෝක්ස් ලකුණු 20ට කඩුලු 3ක් දවා ගත් අතර ජොෆ්රා ආචර් ලකුණු 54ට කඩුලු 3යි. අනතුරුව ලකුණු 224ක ඉලක්කයකින් පිටියට පිවිසි සත්කාරක එංගලන්ත පළමු කඩුල්ල වෙනුවන් ජොනී බෙයාස්ටෝව් සහ ජේසන් රෝයි ලකුණු 124ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගූහ. බෙයාස්ටෝව් ලකුණු 34ක් රැස් කළ අතර රෝයි ලකුණු 85යි. ජෝ රූට් සහ එංගලන්ත නායක ඔයින් මෝගන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එංගලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 32යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී සිටියදී ය. වසර 27කට පසුව ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගයට පිවිසි තම කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත නායක ඔයින් මෝගන්.
ඔයින් මෝගන් - නායක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම "පන්දු යැවීමේ බලඇණියේ දක්ෂතා අගය කරන්න ඕනේ. ඔවුන් දිගින් දිගටම කඩුලු දවා ගැනීමට සමත් වුණා. අවශ්‍ය ඉලක්කයට පන්දු යොමු කළා. ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි ලකුණු අතරට පැමිණි අවස්ථාවෙදිත් ඔවුන්ව පාලනය කරන්න ආදිල් රෂීඩ් ඇතුළු පන්දු යවන්නන්ට පුළුවන් වුණා. අපි ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්තා. ආදිල් රශීඩ්ට ස්ථාවර වෙන්න අවස්ථාව දුන්නා. ඔස්ට්‍රේලියාව ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන්ට දක්ෂ පන්දු යවන්නන් ඉන්නවා. මිචෙල් ස්ටාර්ක් මෙම තරගාවලියේදී හොඳින් පන්දු යැව්වා. මං හිතනවා හැම අතින්ම තරගය ජය ගන්න හැකි වාතාවරණයක් අපිට ලැබුණා කියලා. එය පිතිකරුවන්ට උචිත තණතිල්ලක්. එය අපිට යෝග්‍ය වුණා. සමහර දවස් අපිට හොඳ දවස් වෙන්නේ නෑ. නමුත් අපි උත්සහ කරන්න ඕනේ හොඳින් ක්‍රීඩා කරන්න."
ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පළ කළ අදහස්.
ඒරන් ෆින්ච් - නායක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම "තරගයේ පළමු පන්දුවාර 10 අනිවාර්යයෙන්ම වැදගත් වුණා. අපි දැනගෙන හිටියා ඔවුන් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කරනවා කියලා. අපිටත් අවස්ථාව තිබුණා පන්දුවෙන් යමක් කරන්න. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් දිනුවා. ඇත්තටම පන්දු යවන්නන් තමයි තරගයට වැඩිම බලපෑමක් කළේ. අපිට පන්දුවෙන් එම බලපෑම කරන්න බැරි වුණා. කඩුලු කිහිපයක් දවා ගන්න පුළුවන් වුණා නම් තරගය මීට වඩා වෙනස් වෙන්න තිබුණා."