අපද්‍රව්‍ය බහාලුම් ආපසු යවන්නැයි මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස්

by Staff writer 12-07-2019 | 8:38 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ අදාළ කන්ටේනර් 102 කින්, කන්ටේනර් 94 ක කසළ අඩංගු බව හෙළිදරව් වූයේ ඉන් 5ක් පසුගිය දා රේගු නිලධාරීන් විවෘත කර පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන් වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දෑ සොයාගත් බව එහිදී රේගුව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මධ්‍යම පරිසර අධිකාරියේ රසායන හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, මෙම කසළ තොගයේ රෝහල්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය ද පවතින බවයි. මෙම කන්ටේනර් තොගය යළි ඒවා ගෙන්වූ රටට යැවීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළේ ය. ඔවුන් අවධාරණය කළේ, බාසල් සම්මුතියට අනුව මෙලෙස අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ප්‍රතිසැකසීමේ අරමුණෙන් මෙම කසළ ශ්‍රී ලංකාවට ගෙන ආ බව පැවසුවත් එවැනි ප්‍රතිසැකසුම් ක්‍රියාවලියක් සිදු කිරීමට රට තුළ ක්‍රමවේදයක් හෝ යන්ත්‍රනයක් නැතැයි රේගුව පවසයි. මේ කසළ තොගය මෙරටට රැගෙන ආවේ කවු ද? අවශ්‍යතාව කුමක් ද? කවුරුන් මේවා රට තුළට රැගෙන ආවත් වහා වැටලීම් කර මේවාට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවටගත යුතු නොවේ ද?