Blue Mountain මුදල් වංචාවේ වගකිව යුත්තන් නිදැල්ලේ

Blue Mountain මුදල් වංචාවේ වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ

by Staff writer 11-07-2019 | 2:41 PM
COLOMBO (News 1st) - Blue Mountain දේපළ වෙළෙඳ සමාගමෙන් ඉඩම් මිලදී ගත් 300කට අධික පිරිසක් අදාළ ගෙවීම් සම්පූර්ණ කර ඇතත් එම ඉඩම් වෙනුවෙන් ඔප්පු නිකුත් කර නොමැති බව එම සමාගමේ සභාපතිවරයාම අප වෙත අනාවරණය කළේ ය. තමා මේ වන විට පොලීසිය මග හරිමින් සිටින බව ඔහුම කියා සිටියේ ය. දිවයිනේ පොලීසි කිහිපයක් වෙත ලැබුණු පැමිණිලි අනුව අත්අඩංගුවට ගැනුණු සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ සියලු පැමිණිලි ගොනු කෙරී ඇත්තේ, මිලදී ගත් ඉඩම් වෙනුවෙන් සම්පූර්ණ වටිනාකම ගෙවූ පසුව ද ඔප්පු නිකුත් නොකිරීම සම්බන්ධයෙනි. සමාගම විසින් වෙන්දේසි කරනු ලැබූ යක්කල පිහිටි ඉඩමෙන් බිම් කට්ටි මිලදී ගත් ඇතමෙක් සම්පූර්ණ වටිනාකම ගෙවා තිබියදීත් මේ වන විට එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් ඉඩම වෙන්දේසි කිරීමට සූදානම් වේ. ඒ, මෙම ඉඩම උකස්කරයකින් නිදහස් කර ගැනීමට Blue Mountain සමාගමට නොහැකි වූ බැවිනි. සමාගම විසින් වෙන්දේසි කරනු ලැබූ ඉඩම් මිලදී ගත් 1500කට අධික පිරිසක් අතරින් 300කට ආසන්න පිරිසකට පමණක් ඔප්පු ලබා දීමේ ප්‍රමාදයක් ඇති බව සභාපතිවරයා අප වෙත කියා සිටිය ද ඉකුත් වසරේ ජුනි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය අතර කාල සීමාව තුළදී සමාගම නිකුත් කර ඇති ඔප්පු සංඛ්‍යාව 400කට අඩු ප්‍රමාණයකි. එලෙස නිකුත් කර ඇති ඇතැම් ඔප්පු වංචාකාරී ලියැවිලි බව පෙනී යයි. සමාගම දහසකට අධික පිරිසක් හමුවේ සාපරාධී විශ්වාසය කඩ කර ඇති බැවින් සමාගමේ සභාපතිවරයාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේ ද? පොලිස්පතිතුමනි ඔබේ අවධානය පිණිසයි....