වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරයට

වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 11-07-2019 | 10:35 PM
COLOMBO (News 1st) : කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල බරපතලකම සහ ඔහුට ඇප ලබාදුනතොත් ඇතිවිය හැකි මහජන කැළඹීම් කෙරෙහි අවධානය යොමු කර තම අධිකරණය මෙම නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය. සැකකරුට අයත් සියලුම දේපල රජයේ තක්සේරුකරු ලවා තක්සේරු කර වාර්තාවක් කැදවීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. වෛද්‍ය සෆි විසින් සිදුකරන ලද සැත්කම්වලදී පැලෝපීය නාලවලට හානි සිදුවී ඇද්දැයි අනාවරණය කර ගැනීම සදහා මව්වරුන් 147 දෙනෙකුට සිදු කිරීමට නියමිතව ඇති එච් එස් ඩී පරික්ෂණය තාවකාලිකව යළි අත්හිටුවීම ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. එම පරික්ෂණ සිදුකළ හැකි නිවැරදි ක්‍රමවේදය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් විශේෂ වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට නියෝග කළේ ය. සැකකරුට එරෙහිව ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඒ පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ රැදවුම් නියෝග අවලංගු කළ බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.