ජාතික පාසල්වල ගුරුවරුන්ට දැනුම් දීමක්

ජාතික පාසල්වල ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීම ගැන දැනුම් දීමක්

by Staff writer 11-07-2019 | 7:32 AM
COLOMBO (News 1st) - තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ය. ඒ අනුව ජාතික පාසල්වල 1, 5, 6, සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීම සඳහා මේ යටතේ අවස්ථාව උදාවනු ඇති. තමන් සේවය කරන පාසලට තම දරුවන් ඇතුළත් කර ගැනීම තුළ යහපත් මානසිකත්වයකින් ගුරුවරුන් සිය ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට පෙළඹෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය විශ්වාස කරයි. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ, ඒ තුළින් ඵලදායී සේවයක් ගුරුවරුන්ගෙන් ලබා ගනිමින් අධ්‍යාපන පද්ධතියට යම් දිරි ගැන්වීමක් ලැබෙන බව ය. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණෙන සියලු දෙමාපියන්ගේ දැන ගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත් කර ඒ අනුව අදාළ අයැදුම්පත් යොමු කිරීමට හැකි වන පරිදි විනිවද භාවයෙන් යුත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.