by Staff writer 11-07-2019 | 10:32 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක්කර වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව දැනුම් දුන්නේ වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කරමිනි.
ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකල නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණ.
එහිදී නඩුව සැප්තැම්බර් මස 20 වනදා දක්වා කල් තැබුවේ එම නඩු විභාගය වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙනි.
නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා දැනුම් දුන්නේ තම සේවාදායකයා විදේශ ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.
විත්තිකරුවෙකුට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට තිබෙන ඉඩකඩ අධිකරණය පිළිගන්නා අතර ඔවුන් මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීම අවශ්‍ය බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන පාලිත ප්‍රනාන්දු සහ බී.එගොඩවෙල යන විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා අද දින අධිකරණයේ පෙනී නොසිටියහ.
ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි.