ඉරාන ජනපතිගෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්

ඉරාන ජනපතිගෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්

by Staff writer 11-07-2019 | 3:03 PM
COLOMBO (News 1st) : ඉරාන ජනාධිපති හසන් රුහානි බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක් සිදු කළේ ය. ඒ , පසුගියදා ඉරානයේ බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ සුපිරි බොරතෙල් ප්‍රවාහන නෞකාවක් වන ග්‍රේස් වන් , ග්‍රහණයට ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි පවසමිනි. අනාරක්ෂිතභාවයට මුල්පිරුවේ බ්‍රිතාන්‍යය බැවින් අනාගතයේදී එහි ප්‍රතිඵල ඔවුන්ට අවබෝධ වනු ඇතැයි ද ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය. බ්‍රිතාන්‍යයේ මෙම ක්‍රියාව සාහසික බව පැවසූ හසන් රුහානි පැවසුවේ, ජාත්‍යන්තර ප්‍රජාව සිය සියලු ප්‍රයත්න නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීමට යෙදවිය යුතු බවයි. ඉකුත් සතියේ ග්‍රේස් වන් බොරතෙල් ප්‍රවාහන නෞකාවට බ්‍රිතාන්‍ය නාවික හමුදාව සහ ජිබ්රාල්ටර් වරාය ඒජන්සි බලධාරීහු කඩාවැදුනහ. යුරෝපා සංගමය ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක කඩකරමින් මෙම නෞකාව සිරියාවට බොරතෙල් ප්‍රවාහනයේ නිරතව වූ බව සැලකෙයි. මෙය මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් බව පැවසු ඉරානය එරට බ්‍රිතාන්‍ය තානාපතිවරයා තුන්වරක් කැඳවා මේ පිළිබඳ සිය විරෝධය ද පළ කළේ ය. ඉරානය පවසන්නේ අමෙරිකාවේ උපදෙස් මත බ්‍රිතාන්‍යය මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාව සිය භාරයට ගත් බවයි .