රුහුණේ පීඨ කිහිපයක් දින නියමයක් නොමැතිව වසා දැමේ

රුහුණේ පීඨ කිහිපයක් දින නියමයක් නොමැතිව වසා දැමේ

by Staff writer 10-07-2019 | 11:37 AM
COLOMBO (News 1st) : රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ , අද පෙරවරුවේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ සියලු පීඨාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවකදීයි. විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් ඊයේ දිනයේ වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණයට එළැඹී බව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි. එහිදී සිසුන් ඊයේ දිනයේ අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තේ ය. මේ අතර විශ්වවිද්‍යාලය වසා දැමීමත් සමග එහි නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉන් පිටවන්නැයි විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී සිටී.