"ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට අවමන් කළා" - විදේශ ලේකම්

ට්‍රම්ප් තම රටට අවමන් කළ බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ගෙන් චෝදනා

by Staff writer 10-07-2019 | 6:48 AM
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයට සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට අවමන් කළ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසයි. ජෙරමි හන්ට් මේ බව සඳහන් කළේ, අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩැරොක් , ඉතා අඥාන පුද්ගලයකු බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුවයි. තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ද විවේචනයට ලක්කළ ජනපති ට්‍රම්ප් , කඩිනමින් ඇයගේ තනතුරට නව අග්‍රාමාත්‍යවරයකු පත්වන බව දැනගැනීම සතුටට කරුණක් බව ද සඳහන් කළේ ය. ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශවලට හේතුවූයේ ට්‍රම්ප් පරිපාලනය කුසලතාවලින් තොර බව සඳහන් කරමින් අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා යැවූ විද්‍යුත් ලිපි කිහිපයක් හෙළිදරවු වීමයි. මෙම හෙළිදරව්ව හමුවේ බ්‍රිතාන්‍යය අමෙරිකාවට සිය කනගාටුව පළ කළ නමුත් අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයාට සිය සම්පූර්ණ සහය දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ දෙසැම්බරයේ විශ්‍රාම යාමට නියමිත අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා එතෙක් ඔහුගේ ධූරයේ රඳවාගැනීමට කටයුතු කරන බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ ලේකම් ලියාම් ෆොක්ස් සහ අමෙරිකානු වාණිජ ලේකම් විල්බර් රොස් අතර අමෙරිකාවේදී සිදුවීමට නියමිතව තිබූ හමුවක් ද ඊයේ අවලංගු කෙරිණ.