ඉන්දියාවට යනවා කියා මාලදිවයිනට ගිය අභිරහස් යානය

by Staff writer 09-07-2019 | 9:48 PM
COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ දින තුනක් තිස්සේ නවතා තිබූ ගැඹුරු භූමි නිරීක්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා ගුවන් යානය අද උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියේ ය. නමුත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ සඳහන් කළේ, අදාළ ගුවන් යානය අද ඉන්දියාව බලා යාමට නියමිත බව ය. පසුගිය සෙනසුරාදා කටුනායකට පැමිණි බැස්ලර් බීටී 67 දරණ මෙම ගුවන් යානය ස්පෙක්ට්‍රම් එයාර්, ඉසෙඩ් එස් - ඒ.එස්.එන් වර්ගයට අයත් වන අතර එය මීටර් 1000ක් තරම් ගැඹුරු භු අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විත ය. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේ මෙවැන්නකි. අශෝක් අබේසිංහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඒ ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා ගමන් කරන කුඩා ගුවන් යානයක්. ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා යද්දී මේ යානය ගොඩබස්වලා තියෙනවා .ඒක සාමාන්‍ය දෙයක්. මෙම ගුවන් යානය 9 වැනිදා පිටත් වෙනවා. ඊයේ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළ ද අද උදෑසන එය පිටත්ව ගොස් ඇත්තේ, මාලදිවයින බලා ය. අදාළ ගුවන් යානය මේ වන විට මාලදිවයින් ගුවන්තොටුපොළේ නවතා තිබේ. මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගුවන් යානය මුම්බායි දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණත්, ඔවුන් තීරණය වෙනස් කර මාලදිවයින බලා පිටත්ව ගිය බව ය. අනතුරුව සීෂෙල්ස්, පෙම්බා, බේර හරහා තම ගමනාන්තය වන දකුණු අප්‍රිකාවට ඔවුන් ගමන් කිරීමට නියමිත බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.