ලලිත් රාජපක්ෂ CID අත්අඩංගුවට

යුද හමුදා හිටපු බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ අත්අඩංගුවට

by Staff writer 08-07-2019 | 4:46 PM

COLOMBO (News 1st) - යුද හමුදා හිටපු බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිටයි. තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් ඇඟිලි සලකුණු සමග ලලිත් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සලකුණු සැසඳීම හේතුවෙන් හංවැල්ල නිවසේදී ඔහු අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. ගුණසේකර මහතා සඳහන් කළේ, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ තිබී ලබාගත් ඇඟිලි සලකුණක් සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයින් 285 දෙනෙකුගෙන් ලබාගත් ඇඟිලි සලකුණු පරීක්ෂා කෙරුණු බවයි. ඇඟිලි සලකුණු රෙජිස්ටාර් කළ අදාළ පරීක්ෂාවේදී එම ඇඟිලි සලකුණු කිසිවක් ගැලපී නොමැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, පසුව අදාළ යුද හමුදා සාමාජිකයින් 285 දෙනාගේ ඇඟිලි සලකුණු මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව ලබාගත් ඇඟිලි සලකුණක් සමග පරීක්ෂා කළ බවයි. එම අවස්ථාවේදී ලලිත් රාජපක්ෂ නැමැත්තාගේ ඇඟිලි සලකුණු සැසදීම හේතුවෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. අත්අඩංගුවට ගත් යුද හමුදා හිටපු බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මහතා 2014 වර්ෂයේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනුයුක්ත කර ඇති අතර ඔහු යළි මෙරටට පැමිණි ඇත්තේ 2017 වසරේදී බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.