මත්ද්‍රව්‍යවල ඇබ්බැහි වූ ළමුන් ගැන සමීක්ෂණයක්

18 අඩු ළමුන් ලක්ෂයකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

by Staff writer 07-07-2019 | 7:33 AM

COLOMBO (News 1st) - දිවයින පුරා අවුරුදු 18 ට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 කට ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරියේ උපදේශක වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය හා පොලීසිය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බවයි. මේ අතර දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින්වලට ඇබ්බැහිවී ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වූ බව ද වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, තුන් ලක්ෂයකට අධික පිරිසක් ගංජා භාවිත කරන බවයි. සිදු කරන ලද සමීක්ෂණයට අනුව පුද්ගලයින් 24,211 ක් විවිධ වර්ගයේ මත්පෙති භාවිතයට පෙළඹි ඇති බව ද වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා පෙන්වා දෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් සිටිනනේ බස්නාහිර පළාතේයි. වෛද්‍ය සමන්ත කිතලවාරච්චි මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම හා වයඹ පළාත්වලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි වශයෙන් සිටින බවයි. සමීක්ෂණයේ වාර්තාව පසුගිය දා ජනාධිපතිතුමා වෙත භාරදුන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.