වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම්

වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසකට පීඩා

by Staff writer 07-07-2019 | 1:33 PM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක පමණ පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ පුත්තලම මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්වල ජනතාව එලෙස පීඩාවට පත්ව ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි. ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. නිරත දිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම ඊට හේතුවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුන්‍යවර්ධන මහතා සඳහන් කළේ, ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.