ලංවිම සුපිළිපන් බවට පස්ස හරවයි ද?

ලංවිම සුපිළිපන් බවට පස්ස හරවයි ද?

by Staff writer 06-07-2019 | 9:41 PM
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව සිදු කර ඇති විනය පරීක්ෂණය නිවැරදි නොවන බවට මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දන්වා තිබේ. ඒ, අදාළ විනය පරීක්ෂණයේ වාර්තාව පදනම් කර ගනිමින් ප්‍රශ්න ගත හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එළැඹෙන අඟහරුවාදා තීරණයක් ගැනීමට නියමිතව තිබියදී ය. ප්‍රශ්න ගත නිලධාරීවරයා ඉකුත් වසරේ ජූලි මාසයේදී වැඩ තහනමකට ලක් කෙරිණි. ඒ, විදුලිය මිලදී ගැනීම් පිළිබඳව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඔහු ලංකා විදුලිබල මණ්ඩලයත් එක්තරා පෞද්ගලික විදුලි බලාගාරයකුත් අතර ඇති කර ගැනුණු නීති විරෝධී ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් එම පෞද්ගලික බලාගාරය සඳහා ගාස්තු ගෙවීමෙන් වැළකී සිටි පසුබිමක ය. සැප්තැම්බර් මාසයේදී ඔහු නැවත සේවයේ පිහිටු වන්නේ විදුලිබල මණ්ඩල ඉතිහාසයේ මෙතෙක් නොතිබූ තනතුරක ය. සේවයේ පිහිටු වීමෙන් අනතුරුව ප්‍රශ්න ගත නිලධාරීවරයාට එරෙහිව චෝදනා 17ක් යටතේ පරීක්ෂණයක් සිදු කෙරී මේ වන විට එහි වාර්තාව නිකුත් වී තිබේ. චෝදනා 17ටම ඔහු වැරදිකරු කෙරී ඇති අතර එයින් චෝදනා 15ක්ම ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ නොමැති පරිභාහිර කාරණා මත පදනම් වී තිබීම විශේෂත්වයකි. එම පරීක්ෂණය සාධාරණ නොවන බව ප්‍රකාශ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ද, මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. විමර්ශන සම්පූර්ණ වාර්තාව පහතින් නැරඹිය හැකිය.