නව පක්ෂ ලියාපදිංචියට අවසර ලැබෙයි ද?

මැතිවරණයට නව දේශපාලන පක්ෂ 6 ක් ?

by Staff writer 06-07-2019 | 12:53 PM

COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන පක්ෂ 6 ක් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් අදාළ නව පක්ෂ පවතින තත්ත්වය යටතේ ලියාපදිංචි කළ නොහැකි බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය. ඒ, පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට බෙන්තර ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ මැතිවරණය ප්‍රකාශයට පත් වී තිබීම හේතුවෙනි. කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබෙන ‍කාල සීමාවක් තුළ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර 2017 වසරේ දී පමණක් නව දේශපාලන පක්ෂ 95 ක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචියට අවසර ඉල්ලා ඇත. ඒ අතරින් සුදුසුකම් සම්පුර්ණ කළ පක්ෂ 6 කට පමණක් ලියාපදිංචිය සඳහා අවසර ලබා දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. 2018, 2016 සහ 2015 වසරවල පැවැති මැතිවරණ හේතුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කර නැත. මේ වන විට මෙරට පිළිගත් දේශපාලන පක්ෂ 70 ක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඒ අතරින් 6 ක ලේකම්වරුන් සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් එම ගැටලු නිරාකරණය කිරීම සඳහා අධිකරණ ක්‍රියාමර්ගවලට යොමු වන ලෙස උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.