ඉරානයෙන් බ්‍රිතාන්‍යට අනතුරු ඇඟවීමක්

තම නෞකාව නිදහස් නොකරන්නේ නම් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

by Staff writer 06-07-2019 | 10:42 AM

(News 1st) - තම නෞකාව නිදහස් නොකරන්නේ නම් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදු කළේ, ගිබ්‍රැල්ටර් මුහුදු ප්‍රදේශයේදී සිය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ග්‍රහණයට පත්වීම පිළිබඳ ප්‍රතිචාර ලෙසයි. එම සිද්ධියට එකට එක කිරීමක් ලෙස බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ද සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, ග්‍රේස් වන් නැමැති ඉරාන ග්‍රහණයේ තිබෙන නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රශ්න කර ඇති බවයි. ඉරාන නෞකාවේ අවසන් ගමනාන්තය හා නෞකාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව අදාළ බලධාරීන් ප්‍රකාශ කර ඇත. සම්බාධක නොතකමින් අදාළ ඉරාන නෞකාව සිරියාවට තෙල් ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පළවීම හමුවේ බ්‍රිතාන්‍ය බලධාරීන් එය සිය භාරයට ගෙන තිබුණි.