ඉන්දියාව පරදා ලංකාව ජය ගනී ද ?

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට

by Staff writer 06-07-2019 | 1:48 PM

COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේදී පැවැත්වේ.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රබල සටනක යෙදෙන ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වන අතර මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය හොඳින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද අරමුණයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය ද මෙය වනු ඇති. ඒ, මීට පෙර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳ ඉඟි පළ කර තිබිම හේතුවෙනි. කණ්ඩායම් 2 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 8 ක දී තරග කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4 ක් ජයග්‍රහණය කරන විට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 2 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම මුල්මවරට ලෝක කුසලාන තරගයකදී හමුවුණේ 1979 තරගාවලියේදීයි. අවසන් වරට 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහා ඉන්දියාව තරග කළේ ය. වසර 44 ක් ඉපැරණි ක්‍රිකට් ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවට සහ ඉන්දියාව අතර එක්දින ක්‍රිකට් 158 ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 56 ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසුණේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී වන අතර එම තරගාවලිය ඉන්දියාව 2 ට 1ක් ලෙස ජය ගත්තේ ය. අද තරගය පැවැත්වෙන හෙඩිංලි පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 3 ම ජයග්‍රහණය කර තිබෙන අතර එහිදී ඔවුන් එම ජයග්‍රහණ 3 ම ලබාගත්තේ එංගලන්තයට එරෙහිව යි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ආරම්භ වේ.