(News 1st) - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය අද පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බව ය.
ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවත් තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයේ සඳහන් ය.
මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු පවසා තිබේ.
ඒ, අදාළ ගිවිසුම පිළිබඳව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ඩේලි මිරර් අද වාර්තා කළ ආකාරයට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා ලැබිය හැකි ප්‍රතිවිපාක යනුවෙන් පෙන්වා දී ඇත්තේ, එම්.සී.සී. හරහා ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබී යාම හෝ තාවකාලිකව අත්හිටුවීම ය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම හරහා ඉඩම් අයිතීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හා පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ ඉඩම්වල කුලී ලබා ගෙන රජයේ ආදායම් ඉහළ දමා ගැනීමට හැකියාව පවතින බව ද තානාපති කාර්යාල නිලධාරියා පුවත්පතට පවසා තිබේ.
අදාළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකානු තානාපති නිලධාරියා පවසා ඇත්තේ, මේ හරහා අමෙරිකාව ඉඩම් අයිති කර ගැනීමක් සිදු නොකරන බව ය.
ශ්‍රී ලංකා රජයට ඉඩම් පිළිබඳව සොයා බැලීමේ හා පාලනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු ඩේලි මිරර් පුවත්පත සමග වැඩිදුරටත් පවසා තිබේ.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර නොගන්නා බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා එලෙස පැවසුවත්, ඊයේ අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙක් යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ ඉඩම් හා වරාය නිරීක්ෂණය කරමින් සංචාරය කළහ.
ඒ ඉන්දීය ආධාර යටතේ, පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට මුලපිරුණු පසුබිමක ය.
පලාලි ගුවන්තොටුපොළේ සිට අමෙරිකානු සෙනට් සභිකයින් ඉඩම් පරීක්ෂා කළ ස්ථානයට ඇති දුර කිලෝමීටර් 4කි.
නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කරමින් යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුබ්‍රමනියම් මුරලිදරන් මහතා පැවසුවේ, කොළඹින් ලැබුණු දුරකතන ඇමතුමක් මත තමන් මෙම සංචාරයට අනුමැතිය දුන් බව ය.
නමුත් තමන්ට ඇමතුම ලබා දුන්නේ කවුරුන්දැයි හෙළි කිරීමෙන් ඔහු වැළකී සිටියේ ය.
මේ අතර අප රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් ද මේ පිළිබඳව විමසුවේ ය.
ඔහු ප්‍රකාශ කළේ, තානාපති කාර්යාලවල උපදෙස් අනුව නිලධාරීන්ට කටයුතු කළ නොහැකි බව ය.
ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, තානාපති නිලධාරීන්ට වුවද එසේ කළ නොහැකි බව ය.
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයට අනුව කටයුතු කරන්නේ නම් විදේශ කටයුතු අමාත්‍යංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර අවසර ලබා ගත යුතු බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර මේ පිළිබඳව අපි ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ගාමිනි සෙනවිරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කළේ, අමෙරිකානු නියෝජිතයින්ගේ මෙම සංචාරය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව ය.
ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ආචාර්ය සුරේන් රාගවන්
උතුරු පළාත් ආණ්ඩුකාර
"කවුද එන්නේ කවුද යන්නේ කියලා මම දන්නේ නැ. මට කිසිම දෙයක් කියලත් නෑ. අමෙරිකා එක්සත් ජනපදයට අවශය මොකද්ද කියලත් මම දන්නෑ. මෙය විදේශ කටයුතු අමාත්‍යංශය සොයා බැලිය යුතු දෙයක්. අපේ වැඩවලට අමෙරිකාවෙන් ඇඟිලි ගහනවා කියන එකට මේක හොඳ උදාහරණයක්. අඩුම ගානේ ආණ්ඩුකාරවරයා ඔහුගේ ඉඩම් අමාත්‍යංශය එහෙම නැත්තම් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය කිසිවක් සමග සම්බන්ධ නොවී තමන්ට අවශ්‍ය පරිදි එහෙ මෙහෙ ගිහින් ජනතාවගේ අදහස් සමග ගලපාගෙන වැඩ කරන එක තානාපති කාර්යාලවල වැඩක්. මෙය පිළිගත නොහැකියි. මීට පෙර දෙපාරක් අමෙරිකානු තානාපති ඇවිත් මාව හමුවෙලා තියෙනවා. දුරකතන අංකත් තියෙනවා. නමුත් දැනුවත් කළේ නෑ."
එසේ නම් මෙම අමෙරිකානු නියෝජිත පිරිසට යාපනයේ ඉඩම් පරීක්ෂා කිරීමට අනුමැතිය ලබා දුන්නේ කවුද?
මේ අමෙරිකානුවන්ගේ අරමුණ කුමක්ද?
අදාළ ගිවිසුම්වලට එළැඹීමටත් පෙර නිසි ක්‍රමවේදය උල්ලංඝනය කරමින් මෙරට කටයුතුවලට මැදිහත් වීමට විදේශ බලවේගයන්ට ඉඩකඩ ලබා දීම පිළිබඳව රජය ලැජ්ජාවට පත්විය යුතු ය.