'අබිමන් වරම්' පෙර ගමන් චාරිකාවේ සිව්වන දිනය

මහනුවර සහ මඩකලපුවේ දරුවන් දැනුවත් කළ 'අබිමන් වරම්' පෙර ගමන් චාරිකාව

by Staff writer 05-07-2019 | 4:51 PM

COLOMBO (News 1st) - ඇන්කර් සහ ද චැම්පියන් නෙට්වර්ක් බලගන්වන අබිමන් වරම් ශිෂ්‍යත්ව වැඩසටහනේ පෙර ගමන් චාරිකාවේ හතරවැනි දිනය අද යි.

මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරන චාරිකාවේ එක් කණ්ඩායමක් මහනුවර නගරයෙන් අද ගමන් ආරම්භ කළේ ය. එම කණ්ඩායම මහනුවර ලුම්බිණි රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් දැනුවත් කරමින් දිගන, තෙල්දෙණිය හරහා අද පස්වරුවේ මහියංගනයට ළගා විය. හෙට එම කණ්ඩායම මහියංගනය සිට දඹුල්ල බලා ගමන් කරනු ඇති. මඩකලපුවෙන් ගමන් ආරම්භ කළ අනෙක් කණ්ඩායමේ ගමනාන්තය වූයේ පොළොන්නරුවයි. ඔවුන් පිහිලිවට, මදුරන්කුලම් සහ වාකරේ පාසල් සිසුන් දැනුවත් කළහ. එම කණ්ඩායම හෙට පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කරනු ඇති. වයස අවුරුදු 12 - 18 අතර වයසේ පසුවන දිවයිනේ සියලුම පාසල් දරුවන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයැදුම්කල හැකිය. මේ සඳහා කාණ්ඩ 10 ක් යටතේ පාසල් දරුවන් 250 දෙනෙකු තෝරා ගනු ලැබේ. ඒ අධ්‍යාපනය, නවෝත්පාදනය, නායකත්වය හා කළමනාකරණය, ව්‍යවසායකත්වය, ක්‍රීඩා, ආවේණිත කුසලතා, සෞන්දර්යය, ජනමාධ්‍යය, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණික දැනුම යන කාණ්ඩ යටතේයි. www.newsfirst.lk අප වෙබ් අඩවියට පිවිසිමෙන් ද මේ සඳහා අයැදුම්පත් ලබා ගත හැකියි. ඔවුන් ඇගයීමට ලක් කරන්නේ ඒ ඒ කාණ්ඩයන්ට අදාළව දිවයිනේ ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකින් සමන්විත 50 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලකි. මේ මස 31 වැනි දා දක්වා ඒ සඳහා අයැදුම්කිරීමට අවස්ථාව හිමිවේ. චැම්පියන්ස් නෙට්වර්ක් සංවිධාන කරන මේ වැඩසටහන බලගන්වන්නේ ඇන්කර් ය. දිවයින පුරා විසිරී සිටින සිය අනාගතය පිළිබඳව සිහින දකින දරුවන්ට එම සිහින ජය ගැනීමට රුකුලක්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.