පකිස්ථානයට දැවැන්ත අභියෝගයක්

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත අභියෝගයක්

by Staff writer 05-07-2019 | 1:42 PM
COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වේ. කෙසේ වෙතත් පකිස්ථානයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගයේදී පෙරළිකාර ජයක් මෙන්ම වාර්තාගත ජයක් වාර්තා කිරීමට සිදු වීම විශේෂත්වයකි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලෙස අද තරගය පැවැත්වේ. මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ තරග 9න් 5ක් ජය ගෙන සිටින නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසුවන අතර තමන් සහභාගී වූ තරග 8න් 4ක් ජය ගෙන සිටින පකිස්ථානය එහි පසුවන්නේ 5 වන ස්ථානයේයි. කෙසේ වෙතත් පකිස්ථානයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ලකුණු 338කට අධික ලකුණු ගණනකින් ජය ගත යුතු වේ. තව ද පකිස්ථානය මෙම තරගයේදී අනිවාර්යෙන් කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දිය යුතු අතර යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන්හොත් පකිස්ථානයට කිසි සේත්ම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාවක් හිමි නොවේ. ඒ, බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දී රැස් කරන ලකුණු සංඛ්‍යාව පකිස්ථානය එක් පන්දුවාරයක් නිමා වීමට පෙර රැස් කළ යුතු වීම හේතුවෙනි. ලෝක කුසලාන ඉතිහාසයේ බංග්ලාදේශය සහ පකිස්ථානය මීට පෙර හමුව ඇත්තේ 1999 වසරේදී පමණි. එම තරගය බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තේ ය. දෙරට අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ලන්ඩන්හි ලෝක්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.