දැරණිගල හිටපු සභාපතිවරයෙකුට වසර 24 ක සිර දඬුවම්

දැරණිගල ප්‍රා. සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහට වසර 24 ක සිර දඬුවම්

by Staff writer 05-07-2019 | 4:12 PM

COLOMBO (News 1st) - දැනට මරණ දඬුවම නියමව සිටින දැරණිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ නොහොත් අත කොටා නැමැත්තාට කොළඹ මහාධිකරණය අද වසර 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, අල්ලස් ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට කොළඹ මහාධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. 2008 වසරේදී දැරණිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී විථි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ගැනීම ඇතුළු අධිචෝදනා 6 ක් විත්තිකරුට එරෙහිව ගොනු කර තිබුණි. ඉන් අධිචෝදනා 4 කට වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ 4 ක දඩයක් ද විත්තිකරුට නියම කළේ ය. එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් තව ත් වසර දෙකක සිර දඬුවමක් ද නියම කරනු ලැබුවේ ය. අල්ලස් ඉල්ලු පුද්ගලයාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද නියම කළ කොළඹ මහාධිකරණය එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් තව ත් වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කර තිබේ. මීට අමතරව රුපියල් 20,000 බැගින් තව ත් දඩයක් ද නියම කළ විනිසුරුවරයා එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් තව ත් වසර 4 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ ය.