"එල්ලා මැරිය යුතු පුද්ගලයින් ගැන ජනපති දන්වා නැහැ"

එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුදැයි ජනපති දන්වා නැහැ - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කියයි

by Staff writer 05-07-2019 | 11:50 AM
COLOMBO (News 1st) - එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුද සහ කුමන දිනයක, කුමන වේලාවක, කුමන ස්ථානයක මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනාධිපතිවරයා විසින් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට දන්වා නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ ය. ඒ, මරණ දඬුවම වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින කැඳවූ අවස්ථාවේදී ය. ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක, වේලාවක සහ ස්ථානයකදී අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති චූදිතයින් එල්ලා මැරීමේ අධිකරණ නියෝග හා එලෙස එල්ලා මරා දැමීමේ බළධාරී පත්‍ර අධිකරණ තම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතත් ජනාධිපතිවරයා මේ දක්වා තම දෙපාර්තමේන්තුවට එවැනි දැනුම් දීමක් කර නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය. මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දෙනවා ද , පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කරනවා ද, පෙත්සමේ සඳහන් වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවන්නේ ද, පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද හා නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරනවා ද යන නියෝගය ලබන 17 වන දා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. මෙහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා එකඟතාව පළ කර සිටියේ, ජනාධිපතිවරයා නියෝග කළත් ලබන 17 වන තුරු කිසිදු පුද්ගලයෙකු එල්ල මරා නොදමන බවට ය. ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබුණහොත් ඒ පිළිබඳව අධිකරණයට දන්වන බවට ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ එකඟතාව පළ කළේ ය.