මුම්බායි නුවරට තවදුරටත් අධික වැසි: 36 දෙනෙකු මරුට

මුම්බායි නුවරට තවදුරටත් අධික වැසි: 36 දෙනෙකු මරුට

by Staff writer 03-07-2019 | 9:26 AM
(News 1st) - අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, තාප්පයක් කඩා වැටීමෙන් වන අතර ඊට ළමුන් 10 දෙනෙකු ද අයත් ය. තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරව සිටින බවට වාර්තා වීම හමුවේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 114 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 78 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මෙම තත්ත්වය හමුවේ මුම්බායි නුවර සියලු කටයුතු අඩපණ වී ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. මේ හේතුවෙන් ඊයේ දින මුම්බායි නුවර අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 203කි. වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් නගරයේ දුම්රිය ගමනා ගමනය ඇතුළු ප්‍රවාහන කටයුතු දැඩිව අඩාල වී ඇති අතර රථ වාහන තදබදය ද උග්‍ර වී තිබේ. ඉකුත් පැය 24 තුළ මුම්බායි නගරයට මිලිමීටර් 375ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීහු සඳහන් කළහ. මුම්බායි නගරයට බලපෑ මෙම අධික වර්ෂාපතනය මෙම සතිය පුරාම පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.