by Staff writer 03-07-2019 | 5:32 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 09 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙන්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ, දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔවුන් දෙදෙනා මනුෂ ඝාතන හා ඊට ආධාර අනුබලදීමේ වරද සිදු කර ඇති බවයි.
මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් තමන්ට පැවරුණූ රාජකාරියේ වගකීම පැහැර හැර ඇති බවයි.
මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳව ලිඛිත හා වාචික බුද්ධි අංශ වාර්තා මගින් දැනුවත්කර තිබියදී එය වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් ජීවිත සිය ගණනක් අහිමි වූ බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, තිස් වසරක යුද අත්දැකීම් ඇති රටක, ආරක්ෂාව භාරව සිටි මෙම සැකකරුවන් මරාගෙන මැරෙන ප්‍රහාරවල බරපතළකම පිළිබඳව දැනුවත්ව සිටිය යුතුව තිබුණ බවයි.
මනුෂ්‍ය ඝාතන සිදුවන බව දැණුවත්ව හා නිශ්චිත තොරතුරු තිබියදීත් ඒවා වළක්වා නොගැනීමෙන් සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ විග්‍රහ කර ඇති අපරාධමය වරද සිදුකර ඇති බව පැහැදිලි වන්නේ යැයි මුදලිගේ මහතා පෙන්වා දුන්නේ ය.
සැකකරුවන් රාජකාරීය ඉටු කළේ, නම් ප්‍රහාර එල්ල කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් නැමැත්තා අත්අඩංගුවට ගත යුතුව තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, එසේ නොහැකි නම් අවම වශයෙන් ප්‍රහාර එල්ල වන බවට, තොරතුරු ලැබුණු ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට හෝ පියවර ගත යුතුව තිබූ බවයි.
ජනමාධ්‍ය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වෙනත් සන්නිවේදන ක්‍රම අනුගමනය කර ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, සංචාරක හෝටල් සහ ජනතාව පහසුවෙන් දැනුවත් කළ හැකිව තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොතිබු බවයි.
තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අගමැතිවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීන් හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමට පියවර නොගැනීමෙන් ඔවුන් සිය රාජකාරීමය වගකීම ප්‍රබල ලෙස පැහැර හැර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා විසින් සියලු බුද්ධි තොරතුරු ආරක්ෂක අමාත්‍යවරයාට ලබාදෙන බවට පූජිත් ජයසුන්දර මහතා දැනුවත්ව සිටි බවයි.
බුද්ධි අංශ ඒ පිළිබඳව නිසි තැන්වලට දැනුවත් කර තිබු බව නිශ්චිතව පැවසිය හැකි දැයි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තියේ නීතිඥවරයාගෙන් එහිදී විමසීමක් කළහ.
ඔහුගේ පිළිතුර වූයේ තමාට ලැබී ඇති උපදෙස් අනුව එය ඒ ආකාරයෙන් සිදුව ඇති බවයි.
තව ද පසුගිය ඔක්තෝබර් මස සිට පූජිත් ජයසුන්දර මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට පැමිණීම ජනාධිපතිවරයා විසින් වළක්වා තිබු බව ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
එවන් තත්ත්වයක් තිබියදී තමන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතා වහාම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු දැනුවත් කර තිබු බව ඔහු අවධාරණය කළේ ය.
කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 09 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේත්, දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේත් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබනු ඇති.
මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, එදිනට එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය එදින නිකුත් කරන බව ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා ය.
බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබුණේ සැකකරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය අනුව ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි.
හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේත්, දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේත් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබනු ඇති.