by Staff writer 03-07-2019 | 9:02 PM
COLOMBO (News 1st) - සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරන ලෙස ලංකා වානිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටි.
ඔවුන් පවසන්නේ, මෙම ගිවිසුම් හා ඒවායේ ඇති විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විනිවිදභාවයක් තිබිය යුතු බවයි.
යෝජිත සෝෆ් සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම්වල ප්‍රතිවිපාක පිළිබඳව තම සාමාජිකත්වය මෙන්ම සමාජය තුළත් දැඩි අවධානයක් යොමුව ඇතැයි ලංකා වානිජ මණ්ඩලය පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ, මෙම ගිවිසුම් සැකසීම සහ ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබාගැනීම ඇතුළු ඊට අදාළ නිසි ක්‍රියාවළිය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා රටට කිසිදු අහිතකර දෙයක් සිදු නොවන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලේනා ටෙප්ලිට්ස් මහත්මිය හමු වූ අවස්ථාවක ඡායා රූපයක් සමග ඔහු පළ කර ඇති ට්විටර් පණිවුඩයක් මේ බව සඳහන් කර තිබේ.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට කිහිපවරක්ම උත්සාහ කළ නමුත් මාස දෙකක සිට ඒ සඳහා අවස්ථාවක් නොලැබුන බව ද හර්ෂ ද සිල්වා මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, සංවර්ධනයට ඇති බාධා ජනාධිපතිවරයා අවබෝධකරගත යුතු බවයි.
රිකාඩෝ හවුස්මන් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සමග මෙරට ආර්ථික විශේෂඥයින් පිරිසක් මේ ගිවිසුම සකස් කර ඇතැයි ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
නමුත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා සඳහා මේ කිසිවෙකුට කැඳවීමක් කර නොමැති බව ද ඔහුගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.
මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමට අමාත්‍යවරයා සැලසුම් කර තිබූ අතර පසුව එය අවලංගු කර තිබේ.
සෝෆා, ඇක්සා සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමින් අමෙරිකාව සමග සම්බන්ධ වූ ගිවිසුම් 3 ක් ගැන මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත.
හමුදා ස්ථානගත කිරීමේ ගිවිසුම හෙවත් සෝෆා මගින් අමෙරිකානු හමුදා සාමාජිකයින්ට රටේ පොදු නීතියට පිටින් රට තුළට අතුළුවී තානාපති වරප්‍රසාද භුක්ති විඳිමින් නිදහසේ සැරි සැරීමට අවස්ථාව ලැබෙන බවට මේ වනවිට සැක පළවෙමින් තිබේ.
අමෙරිකානු තානාපතිනිය පසුගිය දා මේ ගිවිසුම සංචාරක හමුදා ගිවිසුම ලෙස නම් වෙනස්කර හඳුන්වා දුන්නේ ය.
නමුත් ජනතාව තුළ මේ සම්බන්ධයෙන් මතුවන ප්‍රධාන සැකය වන්නේ අමෙරිකානු හමුදා නිදහසේ රටට ඇතුළුවී රට තුළ ගමන් කිරීමට පහසුකම් සැලසෙනු ඇති බවටයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති අමෙරිකානු ආයතනය ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ගිවිසුම්ගත වීමට සූදානම් වේ.
මේ මුදල් ලබා දෙන්නේ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම හා ඉඩම් නීති වෙනස් කිරීම සඳහායි.
කොළඹ වරාය සහ ත්‍රිකුණාමලය වරාය සම්බන්ධ කරමින් ප්‍රවාහන මාර්ග පද්ධතියක් ඇතුළු ආර්ථික තීරයක් ඉදිකිරීම මෙහි අරමුණ බව මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දෙන විවේචකයින්ගේ අදහසයි.
සෝෆා ගිවිසුම හරහා රටට නිදහසේ පිවිසෙන හමුදා ත්‍රිකුණාමලය හා කොළඹ වරාය පහසුවෙන් පරිහරණය කරමින් ඒ අතර ගමන් කර අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කර ගැනීමට සූදානම් වන බව ඔවුන් පෙන්වා දෙති.
ඇක්සා යනුවෙන් හඳුන්වන්නේ අත්පත් කර ගැනීම හා හරස් සේවා ගිවිසුමයි.
මේ මගින් අමෙරිකානු හමුදාවලට අවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනය කිරීම සිදුවේ.
පසුගියදා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අමෙරිකානු ගුවන් යානා ඈත මුහුදේ නවතා තිබූ ඔවුන්ගේ යුද නෞකාවකට භාණ්ඩ ප්‍රවාහනය කළේ මේ ගිවිසුම අනුවයි.
2007 දී මේ ගිවිසුම මුලින්ම අත්සන් කළ අතර 2017 දී එය යාවත්කාලීන කරමින් නැවත අත්සන් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා පසුගිය දා අනාවරණය කලේ 2017 ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවළිය බරපතළ සැකයකට තුඩු දෙන බවයි.
මිලේනියම් චැලේන්ජ්, සෝෆා සහ ඇක්සා ගිවිසුම් හරහා අමෙරිකානු හමුදාවට රටට නිදහසේ ඇතුළුවී රට තුළ සැරිසරමින් භාණ්ඩ හා සේවා පහසුකම් සලසා ගැනීමට අවස්ථාව නොලැබෙන බවට තවදුරටත් පැවසිය හැකි ද ?