හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් දෙදෙනා ම රෝහලේ

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් දෙදෙනා ම රෝහලේ

by Staff writer 02-07-2019 | 12:19 PM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද අද ඔවුන් එම දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියහ. ඒ ඔවුන් දෙදෙනා රෝහල්ගත වීම හේතුවෙනි. අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම් දී තිබිණ. අද පෙරවරුවේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහු මේ වන විටත් හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත්ව තිබේ. මේ අතර , අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි, නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබිණ. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ සිහිකැඳවීමක් සිදු කළේ ය. නීතිපතිවරයා මෙම දැනුම්දීම කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ විමර්ශන උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුවයි. නීතිපතිවරයා පෙන්වා දෙන්නේ කරුණු අධ්‍යයනයේදී මොවුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි පෙනී යන බවයි. නමුත් මේ වන තෙක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.