මරණ දඬුවමට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි

by Staff writer 02-07-2019 | 6:18 PM
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අද පස්වරුවේ අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මේරියන් පුල්ලේ මහතා කරුණු දක්වමින් අවධාරණය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව ජනාධිපතිවරයා ගනු ලබන තීර‍ණයක් අභියෝගයට ලක් කර ගොනු කරනු ලැබූ එවැනි ආකාරයේ පෙත්සමක් විභාගයට ගැනීමේ අධිකරණමය බලයක් අභියාචනාධිකරණයට නොමැති බව ය. ඉහළ අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන් සම්බන්ධයෙන් එම දණ්ඩන නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය, වේලාව හා ස්ථානය තීරණය කිරීමේ අයිතිය හා බලය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ ය. එබැවින් ඔහු පැවසුවේ, යමෙකු ජනාධිපතිවරයාගේ එවැනි ක්‍රියාවක් අභියෝගයට ලක් කරන්නේ නම් එය කළ යුත්තේ අභියාචනාධිකරණයේදී නොව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පමණක් බව ය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක්ද සිල්වා, අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම හෙට උදෑසන තෙක් කල් තැබීමට තීරණය කළේ ය. හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් එල්ලා මැරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා අදාළ පෙත්සම ගොනු කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් ය.