ජනපති ට්‍රම්ප් යළි අනතුරු අඟවයි

''ඉරානය මේ සෙල්ලම් කරන්නෙ, ගින්දරත් එක්ක" - අමෙරිකානු ජනපති

by Sagarika Chathumali 02-07-2019 | 8:04 AM
(News 1st) : ඉරානය ගින්දර සමග සෙල්ලම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2015 වසරේ එළඹි න්‍යෂ්ටික ගිවිසුමේ සඳහන් සීමාව ඉක්මවා යුරේනියම් බලගැන්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිවේදනය කිරීමෙන් පසුවයි . අමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසු ගිවිසුමේ සඳහන් කොන්දේසි ඉක්මවා කටයුතු කිරීමට ඉරානය ප්‍රබල පියවරක් ගත් මුල් අවස්ථාව මෙය වේ. කෙසේවෙතත් ඉරාන විදේශ අමාත්‍ය ජාවේඩ් සරීෆ් සඳහන් කළේ, මෙය න්‍යෂ්ටික ගිවිසුම කඩකිරීමක් නොව ගිවිසුමෙන් අමෙරිකාව ඉවත්වීම හමුවේ ඉරානය සිය අයිතීන් ක්‍රියාවට නැංවීමක් පමණක් බවයි . කෙසේ වෙතත් යුරේනියම් බලගැන්වීම ඉහළ නැංවීමට ඉරානය ගත් මෙම පියවර , අමෙරිකාව සහ ඉරානයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු කිරීමට සමත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉරානය සඳහන් කළේ, න්‍යෂ්ටික ගිවිසුම ඔස්සේ තමන්ට බලගැන්වීමට අවසර ලබාදුන් යුරේනියම් කිලෝග්‍රෑම් 300 සීමාව ඉක්මවා මේ වනවිට තමන් යුරේනියම් බලගන්වා ඇති බවයි . ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද ඒ බව තහවුරු කළේ ය. ඉරාන නායකයන් සිය ක්‍රියා පිළිවෙත් වෙනස් කරගන්නා තෙක් එරටට එරෙහිව උපරිම පීඩනය යොදවන බව ධවල මන්දිරය මීට පෙර ප්‍රකාශ කළේ ය.