පූජිත් හා හේමසිරි ප්‍රනාන්දු අද CIDය හමුවට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අද CID ය හමුවට

by Staff writer 02-07-2019 | 7:15 AM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ අප්‍රේල් 21 වනදා ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. මේ අතර පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට සිහිකැඳවීමක් කර තිබිණ. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි, නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබිණ. නීතිපතිවරයා මෙම දැනුම්දීම කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ විමර්ශන උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුවයි. නීතිපතිවරයා පෙන්වා දෙන්නේ කරුණු අධ්‍යයනයේදී මොවුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි පෙනී යන බවයි. නමුත් මේ වන තෙක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණ කළේ ය.