මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

by Staff writer 01-07-2019 | 4:14 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත්ව තිබේ.

ඒ, අද ඉදිරිපත් වූ පෙත්සම් 11 ක් ද සමගයි. තෝරාගත් පිරිසකට පමණක් මරණ දඬුවම ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මගින් තමන්ගේ සහ මරණ දඬුවම නියම කර ඇති සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට නිගමනය කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මහාචාර්ය සී.ගුණසේකර ඇතුළු පාර්ශව 10 ක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සම් ගොනු කර ඇත. අධිකරණය විසින් මිනී මරුම් සම්බන්ධයෙන් විවිධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබූ මරණීය දණ්ඩනය නියම කළ තව ත් සිරකරුවන් විශාල පිරිසක් සිටියදී තෝරාගත් හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට පමණක් මරණීය දණ්ඩනය නියම කිරීම මගින් මූලික අයිතිවාසිකම් කඩවන බව පෙත්සම්වලින් පෙන්වා දී තිබේ. පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ ඇමතිවරිය සහ වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයායි.