පොලිස්පති හා හේමසිරි ප්‍රනාන්දු ගැන සිහි කැඳවීමක්

පොලිස්පති හා හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිට සිහි කැඳවීමක්...

by Staff writer 01-07-2019 | 7:08 PM

COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට සිහි කැඳවීමක් කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබුණි. නීතිපතිවරයා මෙම දැනුම්දීම කර තිබුනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ විමර්ශන උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුවයි. නීතිපතිවරයා පෙන්වා දෙන්නේ කරුණු අධ්‍යයනයේදී ඔවුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි පෙනී යන බවයි. නමුත් මේවනතෙක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.