ලක්ෂ 29ක් කොල්ල කෑ සැකකරුවන් කොටුවෙති

අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ල කෑ සැකකරුවන් පොලිස් දැලේ

by Staff writer 01-07-2019 | 5:07 PM

COLOMBO (News 1st) - අකුරැස්ස නගරයට ආසන්න මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29 ක මුදලක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මූල්‍ය ආයතනය කොල්ල කා පළා යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් පසුපස ලුහු බැඳීමෙන් අනතුරුවයි. සැකකරුවන් සන්තකයේ තිබූ මුදල් තොගය සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, හක්මණ සහ දික්වැල්ල ප්‍රදේශවල පදිංචි 32 සහ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලයට සම්බන්ධ මූල්‍ය ආයතන සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, එම සේවකයාගෙන් ලබා ගත් තොරතුරු මත වැලිගම ප්‍රදේශයේදී තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. අදාළ මූල්‍ය ආයතනයේ සිට අදාළ මුදල් තොගය පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට සූදානම් කර තිබියදී කොල්ලය සිදුවී ඇත.