අකිලගේ ටැබ් එක පරණ මොඩ්ල් එකක් ද?

by Staff writer 01-07-2019 | 8:20 PM

COLOMBO (News 1st) - කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයින්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබාදීමේ වැඩසටහනට පහර ගසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, විසි එක්වැනි සියවසට අදාළ අධ්‍යාපන නිපුණතා සාක්ෂාත් කර ගැනීමට හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට අතිශයින් වැදගත් ටැබ් ලබාදීමේ ව්‍යාපෘතිය විවිධ අසාධාරණ විවේචන මගින් කඩා කප්පල් කිරීමට ගෙනගිය කුහක ක්‍රියාමාර්ග හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද වූ බවයි. එහෙත් ජනාධිපතිතුමා, අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය ටැබ් පරිගණක දියයුතු බවට ඉකුත් 25 වැනි දා ‍ඓතිහාසික තීන්දුවකට එළැඹීම අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පවසුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය අද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණි. අද නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට අනුමැතිය හිමිව ඇත්තේ, පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරන බවයි. සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව 2017 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ නිර්දේශය වූයේ ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් එය ආරම්භ කළ යුතු බවයි. අත්‍යවශ්‍ය විෂය මාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මගින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීම වැලැක්විය යුතු බවත් එහිදී ජනාධිපතිතුමා නිර්දේශ කර තිබේ. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වලක්වන ලෙසත් නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වූයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි. දීපව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා රජය රුපියල් බිලියන පහ මාරක මුදලක් වෙන්කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. එහිදී ජනාධිපතිතුමාගේ යෝජනාව වී ඇත්තේ, මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියකට අවශ්‍ය මුදල් ලබාගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබා ගැනීමට යොදවන ලෙසයි. නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද එහිදී ජනාධිපතිතුමා යෝජනා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ අදාළ ව්‍යාපෘතිය සඳහා 2017 වසර් කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යෘපෘතියට අනුව වෙනස්විය යුතු බව ජනාධිපතිතුමාගේ ස්ථාවරය වූ බවයි. පාසල් දරුවන්ට නව තාක්ෂණය සමග දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස විය.