ධීවර යාත්‍රාවලට රක්ෂණාවරණය අනිවාර්යයි

ධීවර යාත්‍රාවලට රක්ෂණාවරණය අනිවාර්යයි

by Staff writer 30-06-2019 | 11:16 AM
COLOMBO (News 1st) : නිසි රක්ෂණාවරණයක් නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතුවල නිරතවීමට බලපත්‍ර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ ධීවර රැකියාව සඳහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල රක්ෂණය කර තිබීම අනිවාර්යය බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදීයි. ඊට ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , ධීවර සමිති නිලධාරීහු සහ ධීවර කාර්මිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී ධීවර කාර්මිකයින් පෙන්වා දුන්නේ අනතුරට පත් ධීවර යාත්‍රාවලට , රක්ෂණ වන්දි ලබා ගැනීමේ බරපතළ ගැටලු මතු වී ඇති බවයි. මේ හේතුවෙන් ධීවර පවුල් පත්වන අසීරුතාව ද අමාත්‍යවරයාට පැහැදිලි කර තිබේ. පුර්ණ හානි සඳහා පමණක් දැනට ලැබෙන රක්ෂණාවරණය ඉදිරියේදී අර්ධ හානි සඳහා ද ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී සඳහන් කළේ ය.