ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී කිම් හමුවෙයි

ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උ. කොරියානු නායකයා හමුවෙයි

by Staff writer 30-06-2019 | 12:42 PM
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොන්ලඩ් ට්‍රම්ප් කොරියානු දේශසීමාවේ පිහිටි සාම ගම්මානයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවිය. දෙරටේ නායකයින් හමුවී අතට අත දීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා අමෙරිකානු ජනාධිපතිවරයාට දේශසීමාව හරහා තම රටට පැමිණෙන ලෙසට ආරාධනා කළේ ය. ඒ අනුව දේශසීමාව හරහා ගොස් අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු භූමියට ඇතුළු විය. විදෙස් වාර්තා පවසන්නේ ධුරයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකු යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියානු භූමියට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය බවයි. එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා දේශසීමාව හරහා දකුණු කොරියානු භුමියට පැමිණි අතර එහිදී ඔහු පිළිගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද පැමිණ සිටියේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී - 20 සමුළුව අවසන් කරමිනි. උතුරු කොරියානු නායකයා හමුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සංචාරය කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට ආරාධනා කර තිබේ. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඇණහිටි සාකච්ජා යළි ඇරඹෙනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, විශේෂ නියෝජිත ස්ටීව් බීගන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජා ඇරඹෙනු ඇති බවයි.