by Staff writer 30-06-2019 | 5:43 PM
COLOMBO (News 1st) : කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ඊයේ රාත්‍රීයේ මියගොස් තිබේ.
ඇයගේ දියණියන් දෙදෙනා හා සැමියා මෙම අනතුරින් මියගිය අතර ඔවුන්ගේ අවසන් කටයුතු පසුගිය 25 වෙනිදා සිදුකරිණ.
කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවී මෙම එකම පවුලේ සමාජිකයින් පිරිස අනතුරට ලක්වුණේ, පසුගිය 22 දායි.
හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 37 හැවිරිදි නුවන් විජේසූරිය, සිය කුඩා දරු දෙදෙනා හා බිරිඳ සමග විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ තිබූ අතර සංචාරක හෝටලයක නවාතැන් ගත් ඔවුන්, එදින උදෑසන කිරින්ද යාල ප්‍රදේශයේ වෙරළට ගොස් තිබුණේ, සිය කුඩා දියණියන් දෙදෙනාට රැල්ල පෑගීමට සඳහායි.
එහිදී දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු රළ පහරට හසුවූ අතර වයස අවුරුදු 04 පමණ වූ එම කුඩා දියණිය බේරා ගැනීමට, මුහුදු රළ සමග පොරබැදු නුවන් ද රළ පහරට හසුවිය.
සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ, අනතුරුව ඇගේ බිරිඳ සහ අනෙක් දරුවා ද රළ පහරට හසුව ගසාගෙන ගිය බවයි.
ඒ අසල සිටි යුද හමුදා නිලධාරියෙකු විසින් ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ද ඔහුට බේරාගැනීමට හැකිවූයේ හසිනි විජේසූරිය නැමති එම දෙදරු මවගේ ජීවිතය පමණි.
එහෙත් ඇය ද ඊයේ රාත්‍රියේ ජිවිතයෙන් සමුගත්තේ කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අනතුරින් පසු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කළ ඇය අම්පාර මූලික රෝහල වෙත මාරුකර යැවිණ.
පසුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඥාතින්ගේ මැදිහත්වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙනවිත් තිබිණ.