මම සටන් කළා, දැන් මට මහන්සියි - ලසිත් මාලිංග

මම සටන් කළා, දැන් මට මහන්සියි - ලසිත් මාලිංග

by Staff writer 29-06-2019 | 4:50 PM
(News 1st) - තමන් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය. 2020 ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන 20යි 20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණ ද එක්දින ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය. "මම දැන් සටන් කළා... සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල." "ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳුනොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි." ලසිත් මාලිංග කියා සිටියේය. "මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න." තමන් සමග වසර 10ක් එකට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සමග එකට එක් තරගයක් ක්‍රීඩා කර සමුගැනීම සිය අභිප්‍රාය බව ද ලසිත් මාලිංග සඳහන් කළේය. "නුවන් කුලසේකරත් මාත් සමග අවුරුදු 10ක් ක්‍රීඩා කළා. මම හිතනවා ඔහුටත් එක තරගයක් හම්බවෙයි කියලා ක්‍රීඩාවෙන් සමුගන්න. මොකද ඔහු ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1 හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා. ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයේ සමුගන්න. මම ඒකට ගොඩක් උත්සහ කරලා තියෙන්නේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වෙයි කියලා." ලසිත් මාලිංග බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාව පහතින් දැක්වේ.