ට්‍රම්ප් - උන් හමුවීමට සැරසෙයි

ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උන් හමුවීමට සැරසෙයි

by Staff writer 29-06-2019 | 8:11 AM

News 1st - කොරියානු දේශසීමාවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් හමුවීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වෙන ජි 20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි. ජි 20 සමුළුවෙන් අනතුරුව තමන් දකුණු කොරියාවේ සංචාරය කිරීමට අදහස් කරන බවත් එහිදී දේශසීමා ආසන්න ප්‍රදේශයේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සමග ඉතා කෙටි හමුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ. සිය ට්විටර් පණිවුඩය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, තමන් ජි 20 සමුළුව අතර තුර චීන ජනාධිපතිවරයා සමග ද ඉතා වැදගත් සාකච්ජාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. උතුරු කොරියාව සහ අමෙරිකාව අතර පසුගිය පෙබරවාරි මාසයේ වියට්නාමයේදී දෙවන වටයේ නායකත්ව හමුවක් පැවැත්විය. කෙසේ වෙතත් න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වූ එකඟතා කඩවීමත් සමග එම සබඳතා බිඳ වැටුණි.