by Staff writer 28-06-2019 | 9:40 PM
COLOMBO (News 1st) - කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබිය නොහැකි බව ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි.
මෙතෙක් කළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, සාෆි වෛද්‍යවරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ක්‍රියා කළ නොහැකි බව ය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා පසුගිය මැයි මස 25 වන දා අත්අඩංගුවට ගත්තේ චෝදනා 3ක් මත ය.
ත්‍රස්ත කණ්ඩායමක මුදල් ලබා ගෙන එම කණ්ඩායමේ අරමුණු ඉටු කිරීම හා එම මුදල්වලින් දේපළ මිලදී ගැනීමට කටයුතු කිරීමයි.
ප්‍රදේශයේ පවතින උණුසුම් තත්ත්වය මත ජාතීන් අතර ගැටුමක් ඇති වීම වළක්වා ගැනීම සහ පළා ගොස් සැඟවීමට ඉඩ ඇතැයි තොරතුරු ලැබීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ද පියවර ගෙන තිබිණි.
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, පිටු 210ක බී වාර්තාවක් ද සමගිනි.
සැකකාර වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවෙකු බවට අනාවරණය වී නොමැති බව එම බී වාර්තාවේ සඳහන්ව තිබේ.
නිලධාරීන් සැකකරුගේ හා පවුලේ අයගේ දේපළ සහ වත්කම් පරීක්ෂා කළ බවත් ඔහු අයථා ලෙස මුදල් උපයා ඇතැයි නිරීක්ෂණය නොවන බවත් එහි සඳහන් ය.
නමුත් අල් තාවුල් ඇසෝසියේටඩ් ශෙෂන් ගැරන්ට් ලිමිටඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයක් සමග සිදු කර ඇති ගනුදෙනු පිළිබඳව බැංකු දෙකක ගිණුම් වාර්තා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.
මේ අතර වෛද්‍යවරයා කාන්තාවන්ගේ පැලෝපීය නාළ අවහිර කර ඇතැයි කියන චෝදනාවට අදාළව විමර්ශනවලින් කරුණු හෙළිවී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් පැමිණිලි 615ක් ලැබී තිබූ අතර ඉන් පැමිණිලි 147ක් කර තිබුණේ ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුවන් නොලැබුණු බව පවසන මව්වරුන් ය.
අනතුරුව ජනමාධ්‍ය සහ විවිධ ක්‍රම ඔස්සේ ලද දැනුවත් වීම් මත, පුද්ගලයින් 468 දෙනෙකු වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මෙම කරුණට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 44 දෙනෙකු හෙදියන් 71 දෙනෙකු රෝහල් සේවකයින් 18 දෙනෙකු සහ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් 7 දෙනෙකුගේ ප්‍රකාශ මූලික විමර්ශන වාර්තාවේ ඇතුළත් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ, වඳ සැත්කම් සිදු කර ඇත්දැයි තවදුරටත් විමසා බැලීම සඳහා සිදු කරන එච්.එස්.ජී. නමැති පරීක්ෂණය ජාතික රෝහලේදී සිදු කිරීමට පහසුකම් පවතින බව ය.
ඒ සඳහා අවසර දෙන්නැයි ද නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
නමුත් ඊයේ අධිකරණයේදී කරුණු දැක්වූ කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, මෙම පරීක්ෂණයෙන් පිළිකා වැළඳීමේ අවදානම ඇතුළු සංකූලතා ඇති වීමේ ඉඩක් පවතින බව ය.
මරණය පවා ඇති වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරයා කියා සිටියේ ය.
ඔහු ඉල්ලා සිටියේ, මෙම සිදුවීම පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයට තමන් ද ඇතුළත් කරන ලෙස ය.
නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කර තිබේ.
වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර විමර්ශන ප්‍රගතිය ලබන මස 11 වන දා යළිත් අධිකරණයට වාර්තා කිරීමට නියමිත ය.