සහරාන්ගේ ඉඩමකින් කඩු 62ක් මතු වෙයි

by Staff writer 28-06-2019 | 9:21 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අදත් කාත්තන්කුඩි ඔල්ලිකුලම්හි පිහිටි ඉඩමක් පරීක්ෂා කළහ. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන හයාදු මොහොමඩ් අහමඩ් මිල්හාන්ගෙන් හෙළි වූ තොරතුරු මත ය. සවුදි අරාබියේ ජෙඩාහි සිට මෙරටට රැගෙන ආ මිල්හාන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඔල්ලිකුලම්හි පිහිටි මෙම ඉඩම පරීක්ෂා කෙරිණි. පොලීසිය පැවසුවේ, එහි ස්ථාන කිහිපයක වළ දමා තිබූ කඩු 62ක් සහ තවත් ද්‍රව්‍ය සොයා ගත් බව ය. අක්කර දෙකක් පමණ වන මෙම භූමි භාගය සහරාන් නමැති ත්‍රස්තවාදියා විසින් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි. පොලීසිය පැවසුවේ, අදාළ ඉඩමේ ස්ථාන කිහිපයක වළ දමා තිබූ ජෙලට්නයිට් කූරු 369ක්, ටී 56 ජීව උණ්ඩ 475ක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ඊයේ සොයා ගත් බව ය.