මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

by Staff writer 28-06-2019 | 4:06 PM
COLOMBO (News 1st) - මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 2 වන දා කැඳවීමට තීරණය කෙරිණි. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයේදී වූ එකඟතාව අනුව ය. ඔහු ප්‍රකාශ කළේ, අද සිට සතියක් යන තුරු මරණ දණ්ඩනයට නියමව සිටින කිසිදු චූදිතයෙකුට අදාළ දඬුවම ක්‍රියාත්මක නොකරන බව ය. ඔහු මෙම එකඟතාව පළ කළේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව අද පෙරවරුවේ අභියාචනාධිකරණයට පෙත්සමත් ගොනු කෙරිණි. එය ඉදිරිපත් කළේ, මාලින්ද සෙනවිරත්න මහතා ය. වසර 46ක් පුරා ක්‍රියාත්මක නොවී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හදිසියේ ජනාධිපතිතුමා විසින් ගෙන ඇති තීරණය මගින් විවිධ ගැටලු මතු වීමට ඉඩ ඇති නිසා එය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටියි. පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නේරියන් පුල්ලේ මහතා ප්‍රකාශ කළේ, මෙම පෙත්සම සලකා බැලීමට අධිකරණයට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කරන බව ය.